Total Pageviews

Friday, December 26, 2014

ඇන්ඩ් කොම්පැනි


what corruption by ordinarypoet
what corruption by ordinarypoet
බොහෝම කාලෙකට ඉස්සර අපේ පවුලට අයිති වෙලා තිබුනා ලොකු කොම්පැනියක්. පවුලේ හැමෝම ඒකෙ කොටස් කරුවො. ඒ උනාට මේ කොම්පැනියෙන් ලොකු ලාබයක් නෑ. ඒ මදිවට  කොම්පැනිය ඇතුලෙ ප්‍රශ්න ගොඩක්. ඒ හින්දා පවුලෙ කට්ටිය තීරණය කලා අලුත් මැනේජර් කෙනෙක් පත් කරන්ඩ කොම්පැනියට. මේකට නම් කීපයක් ඉදිරිපත් උන නිසා පවුලෙ කස්ටිය අතරෙ චන්දයක් තියල පත් කර ගත්තා මාර  කෙනෙක් අලුත් මැනේජර් විදිහට.


ඉතින් මේ මාර මැනෙජර් මාර වැඩකරුවෙක් කියල තමා හැමෝගෙම කතාව. එයා ඇවිල්ල ටික දවසකින් කොම්පැනියෙ ඇතුලෙ තිබ්බ ප්‍රශ්න ගොඩක් විසඳුවා. එයාගෙ ප්‍රශ්න විසඳන ක්‍රමය සැර වැඩියි කියල ගොඩක් කතා තිබුනට මොකද පවුලෙ කස්ටියෙ හිතුවෙ කොම්පැනියට හොඳක් වෙනවනම් හොඳින් බැරිනම් නරකින් හරි කමක් නෑ කියලයි. කලින් හිටපු මැනේජර්ලගෙ කොන්ද පන නෑ කියලත් ගොඩක් අය කතා උනා. ඒ නිසා මාර මැනෙජර්ව තවත් පාරකට චන්දෙන් පත් කරගත්තා පවුලෙ බහුතරයක කැමත්තෙන්.

දෙවෙනි පත්වීමෙන් පස්සෙ කොම්පැනියෙ ලොකු දියුණුවක් බලපොරොත්තු උනා හැමෝම. මාර මැනේජර් මහත්තයගෙ කටේම තිබුනෙ කොම්පැනිය ආශ්චර්යය කරා ගෙනයනව කියන එක. එයා ලොකු බැන්කු වලින් ලොකු ණය ගත්ත ආශ්චර්යය උදා කරන්ඩ. මේ ලොකු ණය වලින් හැදුව අලුත් ලොකු ලොකු බිල්ඩින් ගොඩාක්. හැබයි මේ අලුත් බිල්ඩින් වල කරන්ඩ තරම් කොම්පැනියෙ වැඩ තිබ්බෙත් නෑ, සේවකයො හිටියෙත් නෑ. එයා ආයෙ හැදුව හැම බිල්ඩිමක් අතරම රත්තරන් අතුරපු පාරවල්. හැම අලුත් බිල්ඩිමකටමයි පාරකටමයි එයගෙ නමත් දාගත්තා. එහෙම තමා ආශ්චර්යයට යන්නේ කියල මාර මැනේජර් කිවුවා. කොම්පැනියෙ ආදයම නම් ආශ්චර්යමත් ආකරයට වැඩි වෙන්නෙ නෑ නේද කියල පවුලෙ සමහර ද්‍රෝහීන් අහනකොට එයා අර ලොකු බිල්ඩින්, රත්තරන් පාරවල් පෙන්නල කිවුව බලන්ඩ කොම්පැනියෙ වත්කම් කොච්චර වැඩි වෙලාද කියල. පවුලෙ ගොඩක් දෙනෙක්ට වත්කම් හා ආදායම් අතර වෙනස තෙරුනේ නෑ.

ටික කාලයක් යද්දි අපේ මේ මාර මැනේජර් බැන්කු වලින් ණය ගන්න එක නවත්තල ගිනි පොලියට ණය ගන්ඩ පටන් ගත්ත කොන්ඩෙ බැඳපු පොලී මුදලාලිලගෙන්. එහෙම තමාලු කොම්පැනියට ප්‍රේමී අය වැඩ කරන්නෙ. මේ පොලී මුදලාලිල සෙට් එක අපේ මාර මැනේජර් එක්ක මාර විදිහට සෙට් වෙලා  අරකටයි මේකටයි හැමදේටම කොම්පැනියට ණය දෙන්ඩ ගත්ත. හරියට එයාල අපේ පස්සෙන් එලව එලව ණය දෙනව වගෙ. පවුලෙ ඉන්න ද්‍රෝහීන් ඇරුනාම අනික් හැමොම කතා කලෙ මෙහෙම ණය දෙන්නෙ කොම්පැනියෙ දියුණුව දැකල වෙන්ඩ ඇති කියල. දියුණු වෙන්ඩ නම් ණය ගන්ඩ ඕනි කියල තමා එයාල කිවුවෙ. ගත්ත ණය ගෙවා ගන්ට තරම් ආදායමක් නැතිකොට මොකද කරන්නෙ කියල අහපුවම පොලී මුදලාලිල පැනල උත්තර දුන්න, "බය වෙන්ඩ එපා, ඒ ණයේ පොලිය ගෙවන්ඩ අපි තව ණයක් දෙන්නම්" කියල. ණය ගන්ඩ කලින් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන හොයල බලල ඉන්ඩ ඕනි නේද කියන ද්‍රෝහීන්ට අපේ මාර මැනේජර් කිවුවෙ "ඔය ප්‍රතිලබ්බ වගේද රත්තරන් ගාපු පාරවල්" කියල. මේව අහල අපේ පවුලෙ අයටත් මාර චූන් ඉතින්.

ඔය කාලෙ තමා මාර මැනේජර් මහත්තයගෙ වියදම් එහෙමත් සෑහෙන්ඩ වැඩි උනේ. පුදුමේ කියන්නෙ අපේ පවුලෙ අයගෙ ආදායම ඒකට සමානුපතිකව අඩු උනා. මැනේජර් මහත්තය අලුත් කාර්, හෙලිකොප්ටර්, අස්සයො ගන්නකොට අපිට සිද්ද උනා පවුලෙ තිබ්බ පෞරාණික බඩු ටික ටික විකුනන්ඩ. මැනේජර් මහත්තය අලුත් ගෙවල් ගන්නකොට අපිට සිද්ද උනා අපේ ගෙවල් උකස් තියන්ඩ. හැබැයි කාටවත් තාම හිතගන්ඩ බෑ මොකද එහෙම උනේ කියල.

තව ටික කාලයක් යද්දි මාර මැනේජර් මහත්තය කොම්පැනියෙ අධ්‍යකෂක මණ්ඩලයෙ අයවත් සල්ලි වලට ගන්ඩ පටන් ගත්තා. එයාට ඕනි උනා කොම්පැනියෙ ව්‍යවස්ථාව වෙනස් කරල ජීවිත කාලෙටම මැනේජර් විදිහට එයව පත් කර ගන්ට. පොලී මුදලාලිලත් මේකට ෆුල් සපෝර්ට්.

කොහොමෙන් කොහොමෙන් හරි දැන් මැනේජර් පත් කරගන්න චන්දෙත් අත ළඟටම ඇවිල්ල. ඉතින් මං මේ කල්පනා කලේ  අපේ පවුලෙ උදවිය තාමත් කොම්පැනියෙ ප්‍රශ්න විසඳපු එක ගැන, ලොකු බිල්ඩින් ගැන, රත්තරන් පාරවල් ගැන කතා කර කර ඉන්න එක ගැන. කොම්පනිය දිගින් දිගටම බංකොලොත් වෙන එක ගැන කතා කරන අයට ද්‍රෝහීන් කියල ලේබල් අලවන එක ගැන. අපේ කොම්පැනියෙ අනාගතේ ගැන හිතනෙ නැති එක ගැන. අනේ මන්ද මේවා කාට කියන්ඩද කියල.